Sunday, November 2, 2014

පුතේ
වැස්ස වාගෙම හරි ඉක්මනට
ගලාගෙන ආවා ඒ පස් කන්දම
නුඹ වෙනුවෙන් ඉන්න, ඈතකට පැන ගන්න
ඉඩක් කෝ කොහෙද..
මම නුඹට කවි කියූ, ලස්සනට සඳ තිබූ
කන්ද නම් නෙවෙයි
අද උදේ තිබුණේ


මම දන්නෙ නෑ
පාසලෙන් දුව ඇවිත්
මම හදන සම්බෝලෙ නැතිව
මගෙ පුතා කොහොම
අද දවල් බත් ඩිංග කන්නේ

රෑපානෙ දඟ පැටියෙකුට උදේ ඉස්කෝලෙ යන්න
ඉක්මනින් නිදියන්න
බලෙන් තුරුලට අරන්
ඇඟ උඩට දමන්නට, මගේ අත ඇයි මට උස්සන්න
ඉඩ දෙන්නෙ නැත්තේ...
එය අයිති නුඹටනේ පුතුනේ
හැමදාම එය දැක්ක කන්ද ඇයි
පස් ගොඩක්වී හිර කරන් ඉන්නේ...

Sunday, July 13, 2014

හෙන්දිරික්කා ගවුම ඇඳගෙන
කහ, දම් පාට මල් සියල්ලම
ලැහැස්තියි හවස සාදයට

කඳුලක පැහැය නොපෙන්වන්නට
තතනන කහපාට ගවුමක
බොළ‍ද නොඉවසිල්ලට 
සිනාවෙයි කලුවර ඈත සිට.....
දුවේ මම
මිටි යැයි
අසන්නට බිය වෙමි
නමුදු නුඹ මට වඩා
උස යන දිනය
මග බලනෙමි...
හිරිපොදය
ඉරිතැලුනු පොළවට‍
සිසිලසක් වනවා මිස..
යටත් කරගන්නවා නැත
ධාරාණිපාත වර්ෂාවක්ව මෙලෙස,
ඔතරම්ම චණ්ඩ නොවිනි නම් 
හිරු ඔබ...!
මුහුද ඔබ මොහොතකට අතහැර 
වෙරළ වෙත දිවයමි 
නෙතු පියාගමි... 
මදක් විඳිනෙමි, එහි පපුතුරෙහි උනුසුම

ඇඳුම වියළා ගමි 
විසිහතර පැයම තෙත බරිත වුන 
රඟනෙමි සැහැල්ලුව 
ගිලී නැති හැඩ කාහටත් පෙනෙන ලෙසටය
මුහුද, බිය නොවනු සොඳුරිය 
දඟ වුවත් රළ මෙලෙසට

රත් වූ වැලි පිරුණු වෙරළක
උනුසුම ලබනු රිසි මිස, නිබඳවම නොරැ‍ඳී
'මම අයිති මුහුදට'
මුමුණමින් ඇදී යන වග
වෙරළත් දනී පෙර සිට...
අප වැතිර උන් තණ පලස දුන් 
මොලකැටි බවම ගෙන 
සිතින් යලි යලිදු සිඹින්නෙමි 
එන මග අසල දුටු 
කුඩා කටු රොද 
සිතට වද්දා නොගනිමි...
මුලු මිදුල එළිය කර 
සඳ එළිය වැටෙන්නැතිවිට 
සහනයකි මල් වලට, 
පාට තවරා 
සිතුවම් අදින්නට නැති නිසා 
පුංචි පෙති මත...