Sunday, July 13, 2014

හෙන්දිරික්කා ගවුම ඇඳගෙන
කහ, දම් පාට මල් සියල්ලම
ලැහැස්තියි හවස සාදයට

කඳුලක පැහැය නොපෙන්වන්නට
තතනන කහපාට ගවුමක
බොළ‍ද නොඉවසිල්ලට 
සිනාවෙයි කලුවර ඈත සිට.....
දුවේ මම
මිටි යැයි
අසන්නට බිය වෙමි
නමුදු නුඹ මට වඩා
උස යන දිනය
මග බලනෙමි...
හිරිපොදය
ඉරිතැලුනු පොළවට‍
සිසිලසක් වනවා මිස..
යටත් කරගන්නවා නැත
ධාරාණිපාත වර්ෂාවක්ව මෙලෙස,
ඔතරම්ම චණ්ඩ නොවිනි නම් 
හිරු ඔබ...!
මුහුද ඔබ මොහොතකට අතහැර 
වෙරළ වෙත දිවයමි 
නෙතු පියාගමි... 
මදක් විඳිනෙමි, එහි පපුතුරෙහි උනුසුම

ඇඳුම වියළා ගමි 
විසිහතර පැයම තෙත බරිත වුන 
රඟනෙමි සැහැල්ලුව 
ගිලී නැති හැඩ කාහටත් පෙනෙන ලෙසටය
මුහුද, බිය නොවනු සොඳුරිය 
දඟ වුවත් රළ මෙලෙසට

රත් වූ වැලි පිරුණු වෙරළක
උනුසුම ලබනු රිසි මිස, නිබඳවම නොරැ‍ඳී
'මම අයිති මුහුදට'
මුමුණමින් ඇදී යන වග
වෙරළත් දනී පෙර සිට...
අප වැතිර උන් තණ පලස දුන් 
මොලකැටි බවම ගෙන 
සිතින් යලි යලිදු සිඹින්නෙමි 
එන මග අසල දුටු 
කුඩා කටු රොද 
සිතට වද්දා නොගනිමි...
මුලු මිදුල එළිය කර 
සඳ එළිය වැටෙන්නැතිවිට 
සහනයකි මල් වලට, 
පාට තවරා 
සිතුවම් අදින්නට නැති නිසා 
පුංචි පෙති මත...
අවසන් වරට
ඔබගෙ හඬ
රුදුවීම ගැන
තවමත් ඉකිබිඳී නිහඬව
හද පතුලෙ
තැන්පත්ව තිබු හඬ..!
පෙම්වත, 
අවසන් වරටද 
මත්වන්න 
මඟ බලා සිටිමුත් 
ඔබ එවනවා කිව් කවිය 
එදිනද 
එවා තිබුනෙ නැත...
මෙතනින් නවතින්න යැයි 
මග අහුරගෙන, 
බුම්මගෙන 
වෙරළ ඉම..

අාපසු හැරී යන 
විලාසය පෙන්වුවද 
නැගි එන රැල්ලක 
සුළැගිල්ලකකවත් එල්ලී 
බිඳී ගිය රැල්ලක් හෝ දෙකක් 
යළි වෙරළ සිඹින බව
නොදන්නා ලෙස
නිහඩව වැතිරගෙන වෙරළ ඉම...
ඔබ කැමතිම පණිවුඩය එවා ඇත
සැළලිහිනියකු අත
ඒ සතුට විදිනු හැක
ඉදින් දැන් සතුටින් 
පියාඹනු 
අහස ඉඩ ඇත....
දස දහස් එක්වන වරටද 
බිඳ වැටී ඇත 
නොබිඳුනා යැයි සිතා සිටි 
බිඳුනු සිත..

පෙර ගමන් යමි 
විල්ලුද එලන්නට වැසෙන්නට
නොපෙනෙන ලෙසට 
දස දහස් එක්වන 
ඉඳිකටු තුඩඟ

වැසූ විලසට
දහ දහසක්ම
කිසිවකුට නොපෙනෙනා විලසට...
ගුලී කර සුරැකි 
අත්ලක මුතුඇට
පහර දී විසුරන සඳ
නොදුටු විස්සෝපය...

පයට යට වූ 
මුතු ඇටයකට
ලොබ බඳිනු 
දුටු විටදි....

සියළු තෙරපුම් මුදාලමි
හද පුරා විසිරෙන
මදහසට ඉඩදෙමි..
පුපුරු ගසනා
හිස රිදුමට අවනතව
ඒ උරහිසේ හිස
තබාගෙන ඇති...
පිරිමදින්නට
නළලත
ඉඩ දී ඔහේ
බලා ඉන්නවැති

සුවය දෙන්නට
පෙරුම් පුරනා
ම'සුරත පහසද
හීනෙකින් මෙන්
දැනෙනවා ඇති....
අමාවක දියව යනා'තර
පැතිරෙනු හැකිය
සෙවනැලි මතට
සඳට රිසි ලෙස.....
සඟවනු නොහැකි
කඳුළු බිඳු ...
ගැටෙන්නට පෙර 
කිසිඳු ඇසකට
පළවා හැර සඳමඩල
පළදවමි ගෙන අමාවක
අහස් ගැබ මත...
බිදෙන් බිඳ වියළෙමි
ගසක සෙවනක් නොසොයමි
ගිනි මද්දහන වියරුවෙදි
ඇති තරම් දවනු, ඉඩදෙමි.

දහසක් නෙතු නිරන්තර
තෙත්, වියලිවනු යළි දකින්නෙමි
දවන විට දහවලදි, ජීවිතය විඳි
උදය සිහිකර සැනසෙමි

නමුදු බැස යන මොහොතෙ දුක්වෙමි
අළු ඉස ගිනිපුපුරු සඟවමි
ගිනිගත් රිදුම් තවන්නට එන සවසක සුළඟ නොව
හෙට, මද්දහනෙදිද යළි දැවෙන්නට පෙරුම් පුරනෙමි...
රැඳුනාට
මොහොතකට නුඹ මුව මත
ඔතරම්ම
නොතැවෙන්න යැයි කියන
අමාවක..
සඳවතක හිස පිරිමැද
පියමැන ගියේ
පිනිකැට වෙත වැතිර
කඳුළු හංගා තබනට..
සුදු ගවුම ඇඳගත්ත
මල් පොහොට්ටුව...
වැහි වතුර දෝතක් ගෙන
මුවට ඉස ගන්නවා රිසි ලෙස...
සුදු වන්ට තව ටිකක් වැඩිපුර
හැකි වේවි යැයි සිතමින.....
එක් දිනක 
පෙර වසර ගණනකට,
කලුවර මොහොතක
විසිකර ඇත
යලි සොයා ගන්නට බැරි ලෙසට
මුණ නොගැසීම මිය යන්නට
යලි නොවිඳවන්නට...

හිස් වූ හදවතකි
වටිනා කිසිවකුත් නැති
යට කළ රිදවුම් තැලුම් මිසකි
හද බිත ඉවත ලූ අවකාශයකි

ජීවිතයෙ මිණි සොයන
ඔබ අත වරද නැත
නෙලා ගත්තට
සුරත පා දුටුවනම,
කලෙකට පෙර වීසි කළ දෙයම
කේඩෑරිව මතුව ආ ඒ
බිම්මලව....
පියපත් සලයි
සඟවාන සිනා වත
ඔසවාන බරැති හද
නොපෙනෙන පරිදි අයෙකුට
නොහැගෙන පරිදි කිසිවෙකුට

රිදි රේඛා මැකෙන වග
කලින්ම පසක් කර දුන්
කළුවලාවන්ට
මේවරත් පින් සිදුවන්නට...
කැඳවා ඇත අහස
සිහිල අතුරමින් සිටි
සුළඟට හිටිවනම
පැවරූ මෙහෙය
අඩක් ඉතිරිව තිබියදිම..

පිනි බිඳු ඉස ඉස
දුක ඇඳ ඇඳ පත් මත
පිය නගන්නට වීය සුළඟ
කොඳුරමින්
යළි හමු නොවන බව...
සවි වෙන්න පෙර විලස
කාලයක් ඇවසි බව නොඅදහන
කාන්දම් බල විහිදවන
කාන්තිය දෙඇසක...

පිළිවෙළ විසුරවන
වෙහෙස කරවන
මොහොතකට මට මා
අමතක කරවන
අසනි වැසි වස්සවන
නොතෙමී ඉන්න
දැඩිව මා වෙහෙස විය යුතු වන...
විසුරවමි
කටු අකුල් හා රළු ගල්
සමඟ ගිරිහෙල් නැවත පෙර ලෙස,
යනෙන මග
අඩියකට පසු අඩියක දුර
අපහැදිලි කල එකල...

විකල් සිතුමක් වුව
වෙන විසදුමක් නම් පෙනෙනු නැත

දකිනු රිසිවය යළි යළිත්,
මග පෙහෙළි කර
එතෙර වන යුවළක
වෙහෙසට ගිලිහෙනු වෙනුවට
යළි යළිත් බැඳෙන සිතැතිව
ලබන සංතෘප්ති සැනසුම....
සඳක කැල්මක් ලබනු රිසියෙන්
පියාඹා යයි තුටින් තුරුපත
තිතක් වී ඈතකට යන විට
ගසක දුක ඇහුවෙ නෑ කිසි කල

එළිය රැදෙතැයි තවත් තිබෙතැයි
අමාවක දින මග සොයන පත
නිහඬ ඈතක නෙත වෙලා හුන්
ගස වැළඳගෙන හඩා වැලපිණ...
හමා එමි මුව මතට
වී සුළං රළ
පා කරමි සෙනෙහසින් 
වැහි වලාකුළ...
ගිලිහී වැටෙනතුරු
හිමිකම පත්වලට
අතුරන්න ඇති තරම්
සෙවනැළි මල් මතට...

Saturday, July 12, 2014



තැම්පත්කර තැබුමට
මෙතැන
මෙලෙසට
ඔබ ගත් වෙහෙස තරමටම...
වෙහෙසව
ඉටු කරලුමට එය
හැකි වු සඳ....
ඔබට ඇවසිව
වෙනස් කරනට නැවත
සිටිය විලසට

පාට කලවම් වූ
සිතුවමක
කිසිදු රේඛාවකදු
කියවා ගත නොහැකි
පැහැය බොඳ වුන පසුව..
දිය ද එළිය ද
සන්සුන්ව රැගෙන විත්
නහවන තුරුම ගත
මග බලන
ගස්ව අප
නොසතුටින් පසුවෙන

ඔබ නොදකින
දෙඇසින් කිම ද ඵල

පෙරුම් පුරමින්
හෙට මුණ ගැසේයැයි
හෙට දවස
එනු ඇතැයි හෙට...

කදුළු
විටෙක රහසිගත වන'යුරු
කිසිවෙකුට
නොපෙනෙන්ට හෙළිය යුතු
තෙතමනය
නොරැදෙන ලෙසට
නෙතුපිය වියළා තැබුමට
නිති වෙහෙස ගත යුතු... 

රහසේම වියලී
වටින්නේ නොමැතිවම...

කදුළු වලටත්
නීති ඇති'යුරු...........

--ඔබ කැමති පරිදිම--


ප්‍රියය,
සොඳුරුතම මතක
අතහලද අත නොහැරෙන...
ඉදින් පිළිවෙළකට
තුබූ ගෙදරක්
නැවත පිළිවෙළක් කරමි මම
නොනිදා
රෑ දෙගොඩ හරියෙද....

ප්‍රියය,
අමතකව නොයන
ඒ ළයාදර හැම මොහොතම..
අවදියෙන් සිට අවදිව
නැවත දිනකට
පැහැය හා සුවඳ දෙමි
පෙති වලින් මැලවුණ,
ඉසගෙන දිය වෙනතකින්
පණ ලබනු නොවෙහෙසෙමි
ඔබ කැමති පරිදිම...

ප්‍රියය,
කාරියකි අසීරුම
හැර යාම ඔබ වුවන...
දිය නොලැබ එක දිගට
මැලව හැකිලී යාම
සිදුවිය යුතුය එය ‍එහෙම
සොබාවික අයුරුම
දිනක එය එම ලෙසම
ඔබ කැමති පරිදිම...

සබඳ..
විදිනට 
සියළු විෂ ගොනුකර
එල්ලය ගෙන
මෙතරම්ම වෙහෙස
කුමටද
ඒ සමනල් පියපතකට

සවිව තිබෙනා ලෙසට
පෙනෙන වුව 
ගිලිහී යමින් තිබෙනු විය හැක..
මොහොතකින්
දුර ඉමට
පාවි යනු ඇතිය..
ඉසිඹුවක්
ඉවසා දරනු මැන....
ඉද හිටක
කදුළු ද
සිසිල ගෙනවිත්
වැහි බිඳු තරමටම,
වෙහෙස නිවා
කොපුල්
තෙමනට...

---සයුරු හිමි---



පැමිණිමි තනිව
සිහින් රැළි නගාගෙන
හිමි හිමින් ගලාගෙන
අවසන
මම ඔබ දකිමි

ඔබ
ඇය සමග
ඇයත් සමග
තවත් අය සමග

පසුව හා පෙර පැමිණි
සැම සමග
තනි නැතිව

මම ඔබ දකිමි

දොර වසා 
පළවා හරින විටදිත්
පිටත් විය 
මුවින් නොබැනම

එහෙයින්ම 
පළා ගියේය
ප්‍රතික්ෂේපයේ 
අපේක්ෂිත තෘප්තියද...

නොදිලී ඉන්න
සිතා ගෙන තරුවක්
පසලොස්වක දිනවත්...
නෙත් පියාගෙන 
වැතිර ගෙන...

'සඳ නුඹ ගන්න 
මුලු අහසම
හැම රැයම'

වැහි බිංදු
එක පොකුරකට ගෙන
වළාකුළු 
මුර සෙබළු ලෙස

සිරකර 
අණසක 
පතුරගෙන

අහස ඒ ගැන
හිත නොහොඳ
කරගෙන....

සුළඟ දඟ කර කර
එපා කරදර
ඒ පහන් දැල්ලට

අඳුරට පාට තවරා
සිතුවමට ලා වර්ණ මුසු කර
මවමින් ඉතා සරලව
ඒ එළිය
බොහෝ සොඳුරුය

දැල්වී
කළුව මැකුමට
සුළඟ ඔබ
සහය වෙනවද?

තුරු වැල් තලා පෙළමින්
එහා මෙහා ඇවිදින
විසල් වූ ඇතුන් ගැන
අසීරුව කරබා ඉඳින
මිහිකත දකින
අහස් ගැබ,
සමා කරවයි
බුහිටියැයි ඒ සියල්ලම

රිදී නොරිදී පය ගසන
මුදුව පියවර තබන
කහකුරුළු යුවලට
විරුදු විය යුතු බවට
අසාධාරණව හඩ තලා
මොරගෙඩි එවයි
නිල් අහස...

By Samara Wijesinghe

මුණුපුරෝ 
පහේ ශිෂ්‍යත්වෙ
බොහොම සතුටුයි දැන්වීම
සමත් වුණ පළමුවන කඩඉම

පුතේ මේ ටික
නො කියා ඉඳිමි මම
දැන් ඉතින් දිගටම
දිවීම සහ කඩුලු පැනීම
හුස්මක් ගන්න දැන්
පපුව පිරෙන්නම
වෙලාවක් නැතිවෙයි
හුස්ම ගන්නට පසුව

හිරු රැස් දුන්නු සායම්
උලා සැම පෙති මත
සිනාසෙන මල් කැකුල
සතුට ගෙන්වනු වුව

නිතර එහෙ මෙහෙ කැරකෙන
සුළඟ ගැන
තමන් තැතිගෙන ඇති බව
ළඟම ඇති ගස වෙත
පවසමින් ගස 
සුසුම් පා කරන හඬ
සුළඟ අහගෙන....

----මතුපිට-----


දිගු අතැඟිලි තුඩින්
පිරිමැද බලනු මැන
සීරුවට මතුපිට
දැනෙනු නියතය ඔබට
සියලු දෙය පෙර ලෙසම
පවතින බවට

නොවෙහෙසෙමි අලවන්න
බිඳුණ විසිරුණ කැබලි ඇතුළත
ඇතිවන හිදැස් ඇත
පුරවනු පහසු වෙනු නැත...

සඟවා ගෙන සිටිමි
ඇනෙන උල් විෂ,
හද පතුලෙ සෙනෙහස හැඳිනු විට
පහව යනු ඇත වේදනා මතු දින
පෙන්නුවද පසුපස වැටී
නොදුටු නොව
දකින නෙත නොඇරී
මහරු ඒ සෙනෙහස...

රැක දෙමි
සොඳුරු වූ
මතුපිට
කිසිවක් පළුදු නොමැති..
පිරිද්දිය හැක
ඇවැසි විට
ඔබ සිතැඟි පරිදි......
මුහුද, 
ඔබ බොරපාට
දුරක නොයනු මැන අතැර
සුදිලෙන නිල් පාට

අහස,
ඔබමය දුන්නෙ
රිසි විලස 
ඒ බොරපාට...
මග බලමි අලුත් උදයක
වැතිරෙන්න
ඔබ පොරවන
නිල්ම නිල් සළුපටක....
දුවේ ඔහෙ රස්නෙද
නෑ අම්මෙ
මෙහෙ සීතල

දුකින් හිටි‍ය දූ ඒ හීනෙම
ඒ වුනත් අම්මෙ
මම සතුටක..

තාත්තත් බය වෙලා දුව ගැන
කිව්වෙ ඇයි අම්මෙ 
හීනෙ ගැන තාත්තට....

ඇයි දුවේ කටහඩ
නෑ අම්මෙ
මේ පින්නට...
දැරිය හැකිවෙද
උරහිසකට
මෙතරම්ම බරක් 
පෙම්වත,

සොදුරිය
ඔය වැනි
මෘදු හිස්වල
උණුසුම මිසක
බරක් නොගනිමි
මා කිසිවිට.....

ඉගිල්ලුන
රෝදයක්
වරක් හද මතින්,
එතරම්ම නොරිදී වුව
නැවත නැවතම......